2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරගාවලිය සඳහා පිරිමි සහ කාන්තා කණ්ඩායම් 6 බැගින් තෝරා ගන්නා නිල ක්‍රමවේදය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නිවේදනය කර තිබේ. කාන්තා අංශයේ කණ්ඩායම් තෝරා ගැනීමේදී 2026 T20 ලෝක කුසලානයේ දක්ෂතා ප්‍රධාන වශයෙන් සලකා බලන අතර, පිරිමි අංශය සඳහා 2026 දෙසැම්බර් 31 වන විට පවතින ICC T20 ශ්‍රේණිගත කිරීම් පදනම් කර ගැනීමට නියමිතය.පිරිමි අංශයේ ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ ඕෂනියා කලාප නියෝජනය කරමින් කණ්ඩායම් 4ක් සෘජුවම සුදුසුකම් ලබාගනී. සත්කාරක ඇමෙරිකානු කණ්ඩායම්වලට ඔලිම්පික් වරම් හිමිවීමට නම් 2026 වසර අවසන් වීමට පෙර ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් 15 දෙනා අතරට පැමිණිය යුතුය. බටහිර ඉන්දීය කොදෙව් දූපත් එක් රටක් ලෙස නොසැලකෙන බැවින්, ඔවුන් වෙනුවෙන් කලාපීය වශයෙන් වෙනම සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සංවිධානය කෙරේ.ඉතිරිව පවතින ස්ථාන සඳහා 2027 වසරේදී විශේෂ “ICC ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක්” පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඔලිම්පික් උළෙලේදී තේරී පත්වන කණ්ඩායම් 6, කණ්ඩායම් 3 බැගින් කාණ්ඩ දෙකක් යටතේ මූලික වටයට තරග වදිනු ඇත. මෙම ඔලිම්පික් ක්‍රිකට් තරගාවලිය පුරා සමස්ත තරග 28ක් පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබේ.



























