මෙම දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම මෙට්‍රෝ බස් රථ සේවයක් බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව 2032 හෝ 2035 වසර වන විට මෙම ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂිත අතර, අදාළ බස් රථ සංඛ්‍යාව 500ක් දක්වා පුළුල් කිරීම රජයේ මූලික අරමුණ වී තිබේ.මෙම ව්‍යාපෘතියේ මූලික පියවර ලෙස එළඹෙන සැප්තැම්බර් මාසය වන විට මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 122ක් දක්වා වැඩි කෙරෙන අතර, 2027 වසර වන විට එය 272ක් දක්වා ඉහළ නංවනු ඇත. එසේම, ඉදිරියේදී මෙම ප්‍රවාහන සේවයට සම්බන්ධ වීමට පෞද්ගලික අංශයට, නගර සභාවලට සහ සමූපකාර ක්ෂේත්‍රයටද අවස්ථාව ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

























