AI තාක්ෂණයෙන් වඳභාවයට විසඳුම්

වඳභාවයෙන් පෙළෙන පිරිමින්ගේ සිරුරේ පවතින අතිශය දුර්ලභ ශුක්‍රාණු සෛල හඳුනාගත හැකි ‘ස්ටාර්’ (Star) නමැති නවතම කෘතිම බුද්ධි (AI) පද්ධතියක් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් හඳුන්වා දී තිබේ. තාරකා විද්‍යාඥයන් අභ්‍යවකාශයේ නව තරු සෙවීමට ගන්නා තාක්ෂණයට සමාන ක්‍රමවේදයක් භාවිත කරන මෙම පද්ධතිය, දරුවන් අපේක්ෂාවෙන් සිටින යුවළකට නව බලාපොරොත්තුවක් එක් කර ඇත.​මෙම තාක්ෂණයේ සාර්ථකත්වය සනාථ කරමින්, නිව් ජර්සි හි පෙනෙලොප් සහ සැමුවෙල් යුවළ මේ වන විට දරු සුතකගේ උපත අපේක්ෂාවෙන් පසුවෙති. ‘ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝමය’ නමැති ජානමය තත්ත්වය නිසා සැමුවෙල්ගේ ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නොමැති බව මීට පෙර වෛද්‍යවරුන් තීරණය කර තිබුණ ද, මෙම නව තාක්ෂණය හරහා එම තත්ත්වය වෙනස් කිරීමට හැකි වී තිබේ.​’ස්ටාර්’ පද්ධතිය ක්‍රියා කරන්නේ මිනිස් කෙස් ගසකටත් වඩා සිහින් නාල සහිත වීදුරු තහඩුවක් හරහා ලබාගන්නා සාම්පල තත්පරයට රූප 300ක් බැගින් අධිවේගීව පරීක්ෂා කිරීමෙනි. එහිදී සාමාන්‍ය පියවි ඇසට හසුනොවන, අපද්‍රව්‍ය අතර සැඟවී ඇති දුර්ලභ ශුක්‍රාණු සෛල AI මගින් ක්ෂණිකව හඳුනාගෙන මිලි තත්පර කිහිපයක් ඇතුළත රොබෝ පද්ධතියක් මගින් වෙන් කර ගනු ලබයි.​සැමුවෙල්ගේ පටක සාම්පලයකින් සොයාගත් අතිශය දුර්ලභ ශුක්‍රාණු සෛල 8ක් අතරින් එකක් සාර්ථකව කළලයක් බවට පත් කිරීමට වෛද්‍යවරුන් සමත් විය. ඒ අනුව ගැබ්ගත් පෙනෙලොප් ලබන ජූලි මාසයේදී සිය පළමු දරුවා ප්‍රසූත කිරීමට නියමිත අතර, මෙය ‘ස්ටාර්’ තාක්ෂණය හරහා සිදුවන ලොව පළමු සාර්ථක දරු උපත ලෙස ඉතිහාසයට එක් වනු ඇත.​ලොව පුරා පිරිමින්ගෙන් 1%ක් පමණ මුහුණ දෙන ‘Azoospermia’ වැනි සංකීර්ණ වඳභාවය ආශ්‍රිත තත්ත්වයන්ට මෙය කදිම විසඳුමක් වනු ඇති බව වෛද්‍යවරුන්ගේ මතයයි. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක පසුවන්නෙකුට ජෛව විද්‍යාත්මක දරුවෙකු ලැබීමේ සම්භාවිතාව 20%ක් වැනි ඉතා අඩු අගයක් ගත්ත ද, මෙම සොයාගැනීම එම බාධකය බිඳ දමා ඇත.​කෙසේ වෙතත්, මෙම තාක්ෂණය තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ බැවින් එය වාණිජමය වශයෙන් ලොව පුරා භාවිතයට ගැනීමට පෙර තවත් සායනික පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට නියමිතය. මෙම ඉදිරි පිම්ම දරුවන් නොමැතිව පීඩා විඳින මිලියන සංඛ්‍යාත යුවළවලට විද්‍යාවේ නාමයෙන් තිළිණ කළ මහඟු ආශිර්වාදයකි.

What's your reaction?

Related Posts

1 of 745

Leave A Reply

Your email address will not be published. Required fields are marked *