ශ්‍රී ලංකාවේ බීජ නිෂ්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම ඉලක්ක කරගත් ‘CROPIX’ නමැති නවතම ඩිජිටල් පද්ධතිය නිල වශයෙන් දියත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික දායකත්වයෙන් ක්‍රියාවට නැංවුණු මෙම ව්‍යාපෘතිය සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද ඒකාබද්ධව කටයුතු කර ඇත. සාම්ප්‍රදායික ක්‍රමවේදයන්හි පැවති බීජ සහතික කිරීමේ ප්‍රමාදයන් සහ අක්‍රමවත් බෙදාහැරීම් මඟහරවා ගනිමින් වඩාත් සාර්ථක ගොවි කේන්ද්‍රීය කෘෂිකර්මාන්තයක් බිහිකිරීම මෙහි මූලික අරමුණයි.නූතන API තාක්ෂණය සහ මධ්‍යගත දත්ත කළමනාකරණය ඔස්සේ ක්‍රියාත්මක වන මෙම පද්ධතිය හරහා බීජ වගාකරුවන්, පරීක්ෂණ රසායනාගාර සහ ක්ෂේත්‍ර නිලධාරීන් එකම ජාලයකට සම්බන්ධ කෙරේ. එමඟින් ක්ෂේත්‍ර ලියාපදිංචියේ සිට රසායනාගාර පරීක්ෂණ, සහතික කිරීම් සහ වෙළෙඳපොළ බෙදාහැරීම් දක්වා වූ සම්පූර්ණ ක්‍රියාවලියම තත්කාලීනව (Real-time) නිරීක්ෂණය කිරීමේ හැකියාව රජයට මෙන්ම පෞද්ගලික අංශයට ද හිමිවේ. මෙමඟින් බීජ සහතික කිරීමේ සේවය (SCS) සහ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය (SPMDC) අතර පවතින සන්නිවේදනය ද වඩාත් ශක්තිමත් වනු ඇත.රජයේ “ඩිජිටල් ආර්ථික සැලැස්ම” සමඟ ද මනාව සමපාත වන මෙම පද්ධතිය දියත් කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා ඇතුළු පිරිසක් එක්වූහ. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ ජාතික ආහාර සුරක්ෂිතතාව සහ ගොවි ජනතාවගේ ජීවනෝපාය නංවාලීම සඳහා බීජ අංශය තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අත්‍යවශ්‍ය පියවරක් බවයි. කෘෂි ආහාර පද්ධතිය නවීකරණය කරමින් ගොවීන්ට ගුණාත්මක බීජ නියමිත වේලාවට ලබාදීමට මෙම ඩිජිටල් නවෝත්පාදනය විශාල පිටුවහලක් වන බව ද මෙහිදී ප්‍රකාශ විය.

























