FIFA ලෝක කුසලාන නිල ප්‍රේක්ෂක කලාපය කොළඹදී විවෘත වෙයි

2026 FIFA ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය සජීවීව විකාශය කෙරෙන නිල ප්‍රේක්ෂක කලාපය (FIFA Fan Zone) කොළඹ, කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ඉදිරිපිට යෝර්ක් වීදියේදී පසුගියදා විවෘත කෙරිණි. විදේශ රැකියා, විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ වූ අතර, මෙමඟින් මෙරට ක්‍රීඩා සංස්කෘතිය මෙන්ම ක්‍රීඩා සංචාරක කර්මාන්තය ද ප්‍රවර්ධනය වනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.​මීට අමතරව, ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) එකඟතාව පළ කර තිබේ. ඒ අනුව මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාංගන භූමිය කේන්ද්‍ර කරගනිමින් එම ව්‍යාපෘතියට අදාළ මූලික නෛතික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර, ඉදිරියේදී මෙරට තුළ ජාත්‍යන්තර තරඟාවලි පැවැත්වීමට මෙමඟින් මඟ පෑදෙනු ඇත.​එසේම මෙම වැඩපිළිවෙළට සමගාමීව ඓතිහාසික ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය නවීන අයුරින් සංවර්ධනය කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඉදිරියේදී කොළඹ නගරය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,201

Leave A Reply

Your email address will not be published. Required fields are marked *