CCTV දර්ශන පදනම් කරගෙන රථවාහන දඩ මුදල් අය කරන බව පවසමින් රියදුරන් ඉලක්ක කරගත් නවතම ඩිජිටල් මූල්‍ය වංචාවක් පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට තොරතුරු වාර්තා වී ඇත. වංචාකරුවන් විසින් විදේශීය දුරකථන අංක භාවිත කරමින් SMS හෝ WhatsApp හරහා ව්‍යාජ පණිවිඩ එවනු ලබන අතර, රථවාහන වරදක් සිදුව ඇති බව පවසා ‘thecourierguy.eu.cc/lk’ වැනි ව්‍යාජ වෙබ් අඩවි වෙත පරිශීලකයන් යොමු කරයි. රජයේ නිල ‘Gov Pay’ වෙබ් අඩවියට සමාන ලෙස සූක්ෂ්මව නිර්මාණය කර ඇති මෙම පිටු හරහා වාහන අංක ඇතුළත් කළ පසු ව්‍යාජ දඩ වාර්තා පෙන්වා, බැංකු කාඩ්පත් (Credit/Debit Card) තොරතුරු ලබාගෙන ගිණුම්වල ඇති මුදල් සොරකම් කිරීම මෙහි අරමුණයි.මෙම වංචාවෙන් ආරක්ෂා වීම සඳහා ලැබෙන සැකකටයුතු සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් සහ පෞද්ගලික හෝ බැංකු තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින ලෙස අමාත්‍යාංශය අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ රථවාහන දඩ මුදල් හෝ නිවේදන කිසිවිටකත් විදේශීය දුරකථන අංක මගින් නොඑවන බැවින් එවැනි පණිවිඩ වහාම ප්‍රතික්ෂේප කළ යුතුය. රජයේ නිල ගෙවීම් සඳහා භාවිත කරනු ලබන්නේ ‘.gov.lk’ යන අග්‍රය (Domain suffix) සහිත නිල රාජ්‍ය වෙබ් අඩවි පමණක් බව මහජනතාව මතක තබා ගත යුතුය.විශේෂ මතක් කිරීම: ඔබගේ බැංකු කාඩ්පතේ රහස් අංක (PIN), එක්වරක් පමණක් භාවිත කරන මුරපද (OTP) හෝ CVV අංකය කිසිදු බාහිර පාර්ශවයකට ලබා නොදෙන්න. රජයේ නිල ආයතන කිසිවිටකත් දුරකථන ඇමතුම් හෝ පණිවිඩ හරහා මෙවැනි රහස්‍ය තොරතුරු ඉල්ලා නොසිටියි.



























