ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මඟින් ක්‍රියාත්මක කරනු ලබන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පස්වන සහ හයවන සමාලෝචන සාර්ථකව නිම කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. ඒ අනුව, එම වාරික දෙකට අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 695ක සමස්ත මුදල මේ වන විට මෙරට මහා භාණ්ඩාගාරයට බැර කර තිබේ.මෙම අරමුදල් නිදහස් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය පසුගිය 27 වැනිදා රැස්වී සිය නිල අනුමැතිය ලබා දී ඇත. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී IMF ආයතනය විසින් සමස්තයක් ලෙස ඩොලර් බිලියන 3ක මූල්‍ය පහසුකමක් මෙරටට අනුමත කරන ලදී.පසුගියදා පැවැති විධායක මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ප්‍රකාශ කළේ, පවතින අභියෝගාත්මක වටපිටාව හමුවේ වුව ද ශ්‍රී ලංකාව ණය පහසුකමට අදාළ කොන්දේසි සහ විධිවිධාන ඉතා ශක්තිමත් අයුරින් ක්‍රියාවට නංවා ඇති බවයි.කෙසේ වෙතත්, මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබුණ ද, ණය තිරසාරභාවය පිළිබඳ අවදානම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ඔකමුරා මහතා පෙන්වා දෙයි. එබැවින් රටේ මිල ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීම උදෙසා පවතින මූල්‍ය ප්‍රතිපත්තිය ඉදිරියටත් ඒ අයුරින්ම පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.



























