IMF 6 සහ 7 ණය වාරික ජුනි මුල් සතියේ ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ 6 වැනි සහ 7 වැනි වාරික මුදල් ජුනි මාසයේ මුල් සතිය තුළ මෙරටට ලැබීමට නියමිත බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසනවා. මෙරට ක්‍රියාත්මක 5 වැනි සහ 6 වැනි සමාලෝචන සාර්ථකව නිමවීමෙන් පසු, ඇමරිකානු ඩොලර් මිලියන 695 ක මෙම මුදල නිදහස් කිරීමට පසුගිය 27 වැනිදා අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය හිමිවුණා. 2022 වසරේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා 2023 මාර්තු මාසයේදී ආරම්භ කළ මෙම මාස 48 ක වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මේ වන විට ලැබී ඇති සමස්ත ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ක්.​මෙම වාරික මුදල් නිදහස් කිරීමට මූලික හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාව එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉටුකර තිබීමයි. පසුගිය දෙසැම්බර් මාසය අවසානය වන විට නියම කර තිබූ ප්‍රමාණාත්මක ඉලක්ක සපුරාලීමට මෙරට රජය සමත්ව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දෙනවා. මීට අමතරව, මෙරට බලධාරීන් විසින් ඛනිජ තෙල් හා විදුලි බල ක්ෂේත්‍රවල පැවති දැඩි අර්බුදකාරී තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය කර විසඳීමට පියවර ගැනීම ද ඔවුන්ගේ ඇගයීමට ලක්ව තිබෙනවා.​මෙම ණය මුදල මෙරටට ගෙන්වා ගැනීමට අදාළ මූලික හා පරිපාලනමය කටයුතු මේ දිනවල මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් සක්‍රියව සිදුකරමින් පවතිනවා. මෙමඟින් ඉදිරි සතිය තුළ මෙරට විදේශ විනිමය සංචිත තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,167

Leave A Reply

Your email address will not be published. Required fields are marked *