ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ 6 වැනි අදියර සඳහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) එළඹෙන ජූනි 1 වැනිදා පස්වරු 1.30 ට කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර තරගාවලිය ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙම නිල අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජිකයින්, ක්‍රිකට් නිලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන් පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.ලොව පුරා රටවල් 21 කින් ක්‍රීඩකයින් 650 කට අධික සංඛ්‍යාවක් තරගාවලිය සඳහා ලියාපදිංචි වී සිටි අතර, ඉන් වඩාත් සුදුසු දක්ෂතා සහිත ක්‍රීඩකයින් 421 දෙනෙකු පමණක් මෙම අවසන් කෙටුම්පත සඳහා තෝරාගෙන ඇත. එම සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාවට දේශීය ක්‍රීඩකයින් 179 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 242 දෙනෙකු ඇතුළත් වේ.මෙම ක්‍රීඩකයින් ප්ලැටිනම්, ගෝල්ඩ්, ක්ලැසික්, නැගීඑන සහ ඇසෝසියේට් ස්ටාර්ස් ලෙස කාණ්ඩ කිහිපයකට වෙන් කර ඇත. ඒ අනුව දේශීය ක්‍රීඩකයින්ගෙන් 17ක් ප්ලැටිනම් කාණ්ඩයටත්, 34ක් ගෝල්ඩ් කාණ්ඩයටත්, 80ක් ක්ලැසික් කාණ්ඩයටත්, 48ක් නැගීඑන කාණ්ඩයටත් නම් කර තිබේ. විදේශීය ක්‍රීඩකයින් අතරින් ප්ලැටිනම් කාණ්ඩයට 31ක්, ගෝල්ඩ් කාණ්ඩයට 64ක්, ක්ලැසික් කාණ්ඩයට 99ක් සහ ඇසෝසියේට් ස්ටාර්ස් කාණ්ඩයට ක්‍රීඩකයින් 48ක් ඇතුළත් කර ඇත.



























