ඩිජිටල් මූල්‍ය ලෝකයේ දැවැන්තයෙකු වන PayPal සේවාව අද (මැයි 15) සිට මෙරට තුළ නිල වශයෙන් සක්‍රීය වන බව නිවේදනය කර ඇත. මීට පෙර අවස්ථා කිහිපයකදී මෙරටට මෙම සේවාව හඳුන්වා දීමට උත්සාහ කළ ද විවිධ තාක්ෂණික හා නීතිමය බාධාවන් මතු විය. කෙසේ වෙතත්, නවතම පියවරත් සමඟ මෙරට පරිශීලකයින්ට ජාත්‍යන්තර මට්ටමේ ගෙවීම් සහ මූල්‍ය හුවමාරු කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කර ගැනීමට දැන් අවස්ථාව උදා වී තිබේ.මෙම පහසුකම හරහා ශ්‍රී ලාංකිකයින්ට විදේශීය වෙබ් අඩවිවලින් භාණ්ඩ මිලදී ගැනීම, විදෙස් සේවාවන් සඳහා ගෙවීම් කිරීම සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ගාස්තු පියවීම වැනි කටයුතු ඉතා පහසුවෙන් සිදු කළ හැකිය. ඕනෑම දේශීය බැංකුවකින් නිකුත් කරන ලද ඩෙබිට් (Debit) හෝ ක්‍රෙඩිට් (Credit) කාඩ්පතක් PayPal ගිණුමට සම්බන්ධ කිරීමෙන් මෙම ගනුදෙනු සිදු කළ හැකි අතර, විදේශයන්හි සිටින පුද්ගලයන්ට ද ඔබගේ ගිණුම වෙත මුදල් එවීමේ හැකියාව පවතී.ආරක්ෂාව අතින් බලන කල, PayPal භාවිතයේදී ඔබගේ කාඩ්පත් අංක හෝ පෞද්ගලික බැංකු තොරතුරු වෙබ් අඩවි වෙත ලබා දීම අවශ්‍ය නොවන අතර, ගනුදෙනුව සඳහා අවශ්‍ය වන්නේ විද්‍යුත් තැපැල් ලිපිනය (Email) පමණි. මෙය සයිබර් ප්‍රහාර සහ දත්ත සොරකම්වලින් ආරක්ෂා වීමට මහඟු පිටිවහලකි. එසේම, ජංගම දුරකථනය හරහා ඕනෑම තැනක සිට ඔබගේ ගනුදෙනු පරීක්ෂා කිරීමට හා කළමනාකරණය කිරීමට ද ඉතා පහසු අතුරු මුහුණතක් මෙහි අන්තර්ගත වේ.තවත් සුවිශේෂී වාසියක් වන්නේ PayPal ගිණුමක් පවත්වාගෙන යාම සඳහා මාසික ගාස්තු අය නොකිරීමයි. එලෙසම, භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා ගැණුම්කරුගෙන් අමතර සේවා ගාස්තු අය නොකිරීම ද පරිශීලකයින්ට ලැබෙන සහනයකි. මෙම නව හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ජාත්‍යන්තරය සමඟ තවදුරටත් බද්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

























