අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ‘සංචාරක උදාව 2026’ නිල වශයෙන් ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක ප්‍රදර්ශනය වන ‘සංචාරක උදාව (Sancharaka Udawa) 2026’ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය. ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව 13 වන වරටත් සංවිධානය කරන මෙම දැවැන්ත ප්‍රදර්ශනය හෙට (16) දිනය පුරා ද පැවැත්වීමට නියමිතය.​මෙහිදී උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, රජය සහ පෞද්ගලික අංශය අතර පවතින ශක්තිමත් සහයෝගීතාවය තුළින් ලෝකය සමඟ තරඟ කළ හැකි තිරසර සංචාරක කර්මාන්තයක් මෙරට තුළ ගොඩනැගිය හැකි බවයි. පාරිසරික සහ ගෝලීය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි පරිදි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක සිතියමේ ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවද ඇය මෙහිදී ප්‍රකාශ කළාය.​මෙවර ප්‍රදර්ශනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස විදේශීය ගැනුම්කරුවන්ට (Foreign Hosted Buyers) ප්‍රථම වතාවට ආරාධනා කර තිබීම පෙන්වා දිය හැකිය. මේ හරහා දේශීය ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ සෘජු සබඳතා ගොඩනගා ගැනීමට පෙර නොවූ විරූ අවස්ථාවක් හිමිවන අතර, ප්‍රදර්ශනය පුරා ව්‍යවසායකයින් 250කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ප්‍රදර්ශන කුටි 300ක් ක්‍රියාත්මක වේ.​තරුණ පරපුර සංචාරක ක්ෂේත්‍රය වෙත ආකර්ෂණය කරගැනීමේ වැදගත්කම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අදහස් දැක්වූවාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ තරුණ තරුණියන්ට මෙම ක්ෂේත්‍රය තුළ නව රැකියා අවස්ථා උදාකර දීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා අධ්‍යාපන අංශ සහ සංචාරක කර්මාන්තය අතර මනා සම්බන්ධීකරණයක් පැවතිය යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.​මෙම සමාරම්භක අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, විදේශීය නියෝජිතයින් සහ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ. ප්‍රදර්ශනයට සමගාමීව දෙස් විදෙස් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ව්‍යාපාරික හමු (B2B) සහ විශේෂ වැඩමුළු රැසක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,142

Leave A Reply

Your email address will not be published. Required fields are marked *