පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමට දැවැන්ත පියවරක්: ගුරුවරුන් 100කගේ සහභාගිත්වයෙන් කොළඹදී වැඩමුළුවක්!

ගුණාත්මක මාධ්‍ය සාක්ෂරතාවයකින් හෙබි සබුද්ධික පාසල් ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ කොළඹ දිස්ත්‍රික් ගුරු දැනුවත් කිරීමේ වැඩසටහන ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි. දිවයිනේ දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක පාසල් සමාජ මාධ්‍ය බලගැන්වීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මෙය සංවිධානය කර තිබූ අතර, මේ සඳහා කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, පිළියන්දල සහ හෝමාගම යන අධ්‍යාපන කලාප 4 නියෝජනය කරමින් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය භාර ගුරුභවතුන් 100 දෙනෙකු එක්ව සිටියහ.​කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර යන මහත්වරුන්ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක වූ මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ පාසල් මාධ්‍ය සමාජවල ප්‍රායෝගික ක්‍රියාකාරකම් පුළුල් කිරීම සහ ගුරුවරුන්ගේ විෂය දැනුම යාවත්කාලීන කිරීමයි. මීට අමතරව, මෙතෙක් නිල වශයෙන් ලියාපදිංචි වී නොමැති පාසල් මාධ්‍ය කව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීම ද මෙහිදී සිදු විය. මේ හරහා ශිෂ්‍ය ප්‍රජාවට නිවැරදි මාධ්‍ය ආචාර ධර්මයන්ට අනුකූල වෙමින්, රාජ්‍ය යාන්ත්‍රණය සමඟ සමීපව සක්‍රීය මාධ්‍ය භාවිතයක නිරත වීමට මින් ඉදිරියට අවස්ථාව උදාවේ.​ඩිජිටල් අවකාශයේ නව ප්‍රවණතා පිළිබඳව ගුරුවරුන් දැනුවත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා විසින් “කෘතිම බුද්ධිය සහ ඩිජිටල් මාධ්‍යකරණය” යන තේමාව යටතේ විශේෂ විද්වත් දේශනයක් පවත්වන ලදී. එමෙන්ම, වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳව ප්‍රායෝගික සහ න්‍යායාත්මක අවබෝධයක් ලබා දෙමින් සීමාසහිත MBC/MTV චැනල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ අශෝක ඩයස් මහතා විසින් “විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය භාවිතාව සහ අභියෝග” යන මැයෙන් දේශනයක් ද මෙහෙයවනු ලැබීය.​කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු මාධ්‍ය ඒකකය ඒකාබද්ධව ඉදිරිපත් කළ මෙම විශේෂ වැඩසටහන සඳහා ජනාධිපති මාධ්‍ය උපදේශක වන්දන සූරියබණ්ඩාර, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගි වී සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,142

Leave A Reply

Your email address will not be published. Required fields are marked *