අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ පොසොන් දින පණිවිඩය

කරුණාව, දයාව, සමානාත්මතාව සහ විනය වැනි උතුම් බෞද්ධ වටිනාකම් සමාජයේ පදනම කර ගැනීම, සාමකාමී හා සාධාරණ ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට මහෝපකාරී වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සිය පොසොන් දින පණිවිඩයෙන් පෙන්වා දෙයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ධර්ම දූත මෙහෙවර සිහිපත් කරන මෙම උතුම් පොහොය දිනය, හුදෙක් ආගමික උත්සවයකට එහා ගිය අපගේ ජාතික චින්තනය සහ සදාචාරාත්මක ජීවන රටාව හැඩගැස්වූ සුවිශේෂී සංධිස්ථානයක් බව ඇය වැඩිදුරටත් අවධාරණය කරයි.​පුද්ගල සංවර්ධනය ආරම්භ වන්නේ මිනිසාගේ සිත පවිත්‍ර කර ගැනීම තුළින් බව පොසොන් පොහොය අපට සිහිපත් කර දෙයි. අද රට නව බලාපොරොත්තු සහගත ගමන් මඟකට පිවිස සිටින මොහොතක, ආර්ථික ප්‍රගතියට නොදෙවෙනි ලෙස සදාචාරාත්මක වටිනාකම්වලින් පිරි සමාජයක් ගොඩනැඟීම අත්‍යවශ්‍ය වේ. අවිහිංසාව සහ මානව දයාව පෙරදැරි කරගත් සමාජයක් උදෙසා රජය දරන ප්‍රයත්නයට මෙම බෞද්ධ දර්ශනය මහඟු මඟ පෙන්වීමක් සපයන බව අග්‍රාමාත්‍යවරිය පවසයි.​අපේක්ෂිත සාධාරණ සහ සෞභාග්‍යවත් රටක් ගොඩනැඟීමේ අභියෝගය ජය ගැනීමට මෙම උතුම් දහම් කරුණු සියල්ලෝම සිත්හි දරා ගත යුතුය. උදාවූ මේ පින්බර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය, සමස්ත බෞද්ධ ජනතාවගේ ජීවිතවලට සැනසීම, ප්‍රඥාව සහ යහපත උදා කරන දිනයක් වේවායි අග්‍රාමාත්‍යවරිය සිය සුබ පැතුම් එක් කරමින් ප්‍රාර්ථනා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,212

Leave A Reply

Your email address will not be published. Required fields are marked *