ආර්ථික ප්‍රතිපත්තිය සහ IMF ගනුදෙනු ගැන කාදිනල් හිමිගෙන් විවේචනයක්

​ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන විවෘත ආර්ථික ක්‍රමවේදය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පවතින සබඳතා පිළිබඳව නැවත සමාලෝචනය කළ යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කරති. වෙසක් උත්සවයක් වෙනුවෙන් සංවිධානය කර තිබූ දන්සලකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.​මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ 1978 වසරේදී මෙරටට හඳුන්වා දුන් විවෘත ආර්ථිකය හේතුවෙන්, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලින් ස්වයංපෝෂිත වීමට තිබූ අවස්ථාව රටට අහිමි වී ඇති බවයි. අතීතයේ දේශීයව නිපදවූ බොහෝ දෑ අද වන විට පිටරටින් ආනයනය කිරීමට සිදුවීම නිසා ලංකාව පරාධීන ආර්ථිකයකට හසුව ඇති බවත්, මූල්‍ය කරුණු ගැන පමණක් සිතන IMF වැඩපිළිවෙළ සමඟ රට තවදුරටත් ඉදිරියට යා යුතුද යන්න පිළිබඳව පුළුල් කතාබහක් අවශ්‍ය බවත් උන්වහන්සේ සඳහන් කළහ.​එමෙන්ම, රටේ දූෂණය තුරන් කිරීම සඳහා විනිවිදභාවයකින් යුතු ශක්තිමත් වැඩපිළිවෙළක් සැකසීමට රජය තවමත් අපොහොසත් වී ඇති බව උන්වහන්සේ පැවසූහ. මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව හේතුවෙන් ඉහළ ගිය ඉන්ධන මිල හමුවේ ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බැවින්, ජීවන වියදම පහත හෙළා මහජනතාවගේ ආර්ථික බර සැහැල්ලු කිරීමට පාලකයින් වහාම මැදිහත් විය යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,170

Leave A Reply

Your email address will not be published. Required fields are marked *