චීනයේ පැවැති 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කම දිනා මෙරටට විශාල අභිමානයක් එක්කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිපුනි වාසනා ධර්මදාස ක්‍රීඩිකාව අද දිවයිනට පැමිණියාය. කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේ තරග වැදුණු ඇය, තීරණාත්මක අවසන් මහා තරගයේදී වියට්නාම ක්‍රීඩිකාව පරාජය කරමින් මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළාය. මෙය 2026 වසරේ ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනාගත් ප්‍රථම රන් පදක්කම ලෙස ඉතිහාසයට එක්වන අතර, ජාත්‍යන්තර මල්ලවපොර පිටියේ මෙරට නාමය ඉහළින්ම සනිටුහන් කිරීමට ඇය සමත් විය.කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි මෙම ජයග්‍රාහී කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර සහ ලේකම් විංග් කමානඩර් විරාජ් ගමගේ ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. පුහුණුකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ උණුසුම් පිළිගැනීම මධ්‍යයේ මව්බිමට පය තැබූ නිපුනි වාසනාගේ මෙම දක්ෂතාවය ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මහඟු දිරිගැන්වීමක් වනු නොඅනුමානය. ගුවන් හමුදා ක්‍රීඩා සංචිතයේ මඟපෙන්වීම යටතේ ලැබූ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ක්‍රීඩා ජයග්‍රහණයක් ලෙස සැලකේ.

























