ආහාර බහලුම් නිදහස් කිරීම කඩිනම් කරන ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් උපදෙස්

ආහාර ද්‍රව්‍ය අඩංගු බහලුම් වරායෙන් නිදහස් කිරීම ප්‍රමාද වීමෙන් පැන නගින අමතර වියදම් අවසානයේ පාරිභෝගිකයාට දැරීමට සිදුවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. මෙම තත්ත්වය මඟහරවා ගනිමින් රේගු නිෂ්කාශන කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. පසුගියදා පැවති අමාත්‍යාංශ සාකච්ඡාවකදී අනාවරණය වූයේ රජයේ විවිධ ආයතන හරහා සිදුවන පරීක්ෂණ ක්‍රියාවලිය හේතුවෙන් ආනයනකරුවන් දැඩි ප්‍රමාදයකට මුහුණ දෙන බවයි.​නිෂ්පාදන පරීක්ෂා කිරීමේදී විවිධ ආයතනවලින් එකිනෙකට වෙනස් වාර්තා ලැබීම වැනි අකාර්යක්ෂමතා පවතින බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එම නිසා, ආනයන සහ අපනයන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමට සහ නාස්තිය අවම කිරීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම පරීක්ෂණාගාර වාර්තා ප්‍රමිතිගත කිරීම මඟින් කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.​ආනයනකරුවන් භාණ්ඩවල මිල පාලනයට පමණක් නොව, පාරිභෝගිකයාගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් ගුණාත්මකභාවය පිළිබඳවත් වගකීමෙන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා සිහිපත් කළේය. පරිභෝජනයට නුසුදුසු ආහාර රටට ඇතුළු වීම වැළැක්වීමට ආනයනකරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වන බව ඔහු අවධාරණය කළේය. අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ආනයනකරුවන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් තීරණ කිහිපයක් ද ගනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 1,210

Leave A Reply

Your email address will not be published. Required fields are marked *