උසස් අධ්‍යාපනයට නව ජාතික ප්‍රතිපත්තියක්: අගමැතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

​මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (24) ඇරඹි සාම පාගමනට එක්වීමෙන් අනතුරුව, මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදුටු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් පිළිබඳව කරුණු අනාවරණය කළාය. එහිදී ඇය අවධාරණය කළේ 2027 වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවත්, උසස් අධ්‍යාපනය වෙනුවෙන් ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බවත්ය.​විශේෂයෙන්ම පිරිවෙන් අධ්‍යාපනය නගාසිටුවීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත්, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ඉදිරි මාවත තීරණය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් අගමැතිනිය සඳහන් කළාය. ලෝක සාමය වෙනුවෙන් මෙරට ක්‍රියාත්මක වන පාගමන පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ ජාත්‍යන්තර අවධානය දිනාගත් මෙවැනි වැඩසටහනකට රජය නියෝජනය කරමින් සහභාගී වීමට ලැබීම සතුටට කරුණක් බවයි.​රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, වත්මන් විපක්ෂය ජනතා අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියා නොකරන බවට චෝදනා කළාය. තර්කානුකූල නොවන කරුණු මත පදනම්ව රජය අපහසුතාවයට පත් කිරීමට ඔවුන් උත්සාහ ගන්නා බවත්, තමන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඒ හරහා කරුණු පැහැදිලි කිරීමට ලැබෙන අවස්ථාව තමන් අපේක්ෂාවෙන් පසුවන බවත් ඇය පවසා සිටියාය.​මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් මූල්‍ය වංචා සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පැවසූ අගමැතිනිය, ඒ සඳහා ජාත්‍යන්තර සහාය ද හිමිවන බව තහවුරු කළාය. විශේෂයෙන් ඕස්ට්‍රේලියානු රජය මෙම විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික හා අනෙකුත් සහාය ලබාදීමට එකඟ වී ඇති බව මෙහිදී අනාවරණය විය.​මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍යවරිය සමඟ මහජන නියෝජිතයින් සහ නිලධාරීන් පිරිසක් එක්ව සිටි අතර, මහානායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව ඇය මහනුවර ප්‍රදේශයේ තවත් ආගමික ස්ථාන කිහිපයකද වතාවත්වල නිරත වූවාය. පවත්නා දේශපාලන හා සමාජීය අභියෝග මධ්‍යයේ අධ්‍යාපන හා මූල්‍ය විනය පවත්වා ගැනීම රජයේ මූලික අරමුණ බව ඇයගේ ප්‍රකාශයෙන් ගම්‍ය විය.

What's your reaction?

Related Posts

1 of 1,110

Leave A Reply

Your email address will not be published. Required fields are marked *