තමන් දේශපාලනය කරන්නේ තනතුරු හෝ තානාන්තර ලබා ගැනීමේ අරමුණින් නොවන බවත්, එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරන එකතුවීම සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්තිමය පදනමක් මත සිදුවන්නක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවරදී ප්‍රකාශ කළේය. පක්ෂ දෙකේම අනන්‍යතාව ආරක්ෂා කරගනිමින්, ජනතා විශ්වාසය දිනා ගනිමින් රට වෙනුවෙන් මෙම පියවර ගත් බව ඔහු අවධාරණය කරයි.තවද, ප්‍රතිපත්ති විරහිත දේශපාලනයක නිරත වීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, රටේ අභිවෘද්ධිය උදෙසා කැපවීමට සූදානම් ඕනෑම පාර්ශ්වයකට තම ගමනට එක්විය හැකි බව ද පැවසීය. ආණ්ඩුව ජනමතයට මුහුණ දීමට බිය වී ඇති බවත්, පළාත් සභා මැතිවරණයකට ගියහොත් පරාජය අනිවාර්ය බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.මෙම අවස්ථාවේදී රජය වෙත බලපෑමක් කරමින් ඔහු ඉල්ලා සිටියේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය මහජනතාවට ලබාදෙන ලෙසයි. ඒ අනුව, ඉන්ධන මිල සහ විදුලි බිල අඩු කිරීමට වහාම පියවර ගන්නා ලෙස ඔහු රජයට බලකළේය.



























