ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රීඩකයින් 46 දෙනෙකු සඳහා නව වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනැමීමට පියවර ගෙන තිබේ. මෙම කොන්ත්‍රාත්තු ලබා දීම කාණ්ඩ 6ක් යටතේ සිදුකර ඇති අතර, ඒ අනුව ක්‍රීඩකයන්ට හිමිවන වාර්ෂික වැටුප් තලයන් ද වෙනස් වේ. මෙහි ඉහළම කාණ්ඩයේ පසුවන ක්‍රීඩකයෙකුට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 130,000ක (රුපියල් කෝටි 4කට ආසන්න) උපරිම මුදලක් හිමිවන අතර, අවම කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට හිමිවන වාර්ෂික මුදල අමෙරිකානු ඩොලර් 10,000කි. එය දේශීය මුදලින් රුපියල් ලක්ෂ 35කට ආසන්න අගයකි.මෙවර කොන්ත්‍රාත්තු ලැබූ ක්‍රීඩකයින් අතර සුවිශේෂී අවධානයක් දිනාගත් තේරීමක් ද දක්නට ලැබෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ, මීට පෙර ජාතික කොන්ත්‍රාත් ගිවිසුම්වලින් තමන්ව නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිල වශයෙන් ඉල්ලීමක් කර තිබූ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද මෙවර ගිවිසුම්ගත වූ 46 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටීමයි.



























