කැලණිය විශ්වවිද්‍යාලයේ සියලු ඉගෙනුම් හා පරිපාලන කටයුතු පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 476ක දැවැන්ත ව්‍යාපෘතියකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව යටතේ ඉදිරි වසර දෙකක කාලය තුළ විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය කිරීමට නියමිතය. ගෝලීය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි විශ්වවිද්‍යාලය වඩාත් ගතික හා තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් ලෙස බලගැන්වීම මෙහි ප්‍රධාන අරමුණයි.මෙම ඩිජිටල් පරිවර්තනය හරහා වර්තමානයේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අභ්‍යන්තර උපාධි අපේක්ෂකයින් 16,000කට අධික පිරිසකට සහ 56,000කට වැඩි බාහිර සිසුන් සංඛ්‍යාවකට සෘජු ප්‍රතිලාභ හිමිවේ. මීට අමතරව පශ්චාත් උපාධි අපේක්ෂකයින් සහ 1,700ක් වන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ද වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවා පරිසරයක් මේ යටතේ නිර්මාණය වනු ඇත. දැනට පවතින තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වත්මන් ලෝකයට ගැළපෙන පරිදි ඉහළ නැංවීම මෙහිදී සිදු කෙරේ.2026 සහ 2027 වර්ෂයන් ඉලක්ක කරගනිමින් රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් විශ්වවිද්‍යාලයේ මූල්‍ය තිරසරභාවය තහවුරු කිරීමටත්, සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අපේක්ෂිතය. නවීන තාක්ෂණය භාවිතයෙන් සිසුන් ආකර්ෂණය කරගනිමින් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ඩිජිටල් සරසවියක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලය ඔසවා තැබීම රජයේ අපේක්ෂාවයි.

























