මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවැනි පාර්ශ්වයක් සතු වීම පිටුපස දැවැන්ත මූල්‍ය වංචාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. ජනතාවගේ බදු මුදල් මෙලෙස අවභාවිත වීම බරපතල තත්ත්වයක් බවත්, ද්විපාර්ශ්වික ණය කළමනාකරණය සඳහා පමණක් වගකීම් දරන විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මෙවැනි ගනුදෙනුවකට මැදිහත් වූයේ කෙසේද යන්න පිළිබඳව ඔහු ප්‍රශ්න කර සිටියේය.මුදල් අමාත්‍යාංශයේ පරිපාලන ව්‍යුහය තුළ පවතින දුර්වලතා මෙම වංචාවට මග පාදා ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, නිසි පළපුරුද්දක් නොමැති නිලධාරීන් ඉහළ තනතුරුවලට පත් කිරීමෙන් සමස්ත මූල්‍ය පද්ධතියම අඩපණ වී ඇති බව අවධාරණය කළේය. විශේෂයෙන්ම ණය සේවාකරණයට අදාළ නිසි ක්‍රියාවලිය මගහරිමින් ඩොලර් ලක්ෂ නවයක වැනි විශාල ගෙවීම් සිදු කිරීමට අනුමැතිය දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මුදල් කාරක සභාව මගහැරීම පිළිබඳව ද මෙහිදී විවේචන එල්ල විය. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයා වෙත ද මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇති බවත්, මූල්‍ය කාරක සභාව හරහා ඉදිරියේදී අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන බවත් ප්‍රකාශ කළේය.

























