සිනමා, කලා සංස්කෘතික කටයුතු මෙන්ම භාවනා සහ බෞද්ධ දර්ශනය හැදෑරීමේ ආයතන ස්ථාපිත කිරීම වෙනුවෙන් කොළඹට නුදුරින් අක්කර 27ක භූමි ප්‍රමාණයක නව “කලා සංස්කෘතික ගම්මානයක්” ඉදිකිරීමට සැලසුම් කර තිබේ. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ බව අනාවරණය වූ අතර, ඒ සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇත.මීට අමතරව, පොළොව කැණීමකින් තොරව GPR (Ground Penetrating Radar) තාක්ෂණය ඔස්සේ පුරාවස්තු පරීක්ෂා කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, හානියට පත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩිනමින් සංරක්ෂණය කිරීමටත් මෙම රැස්වීමේදී තීරණය විය. එමෙන්ම රාමසාන් සමයේ විදේශයන්ගෙන් ලැබෙන රටඉඳි දිවයිනේ මුස්ලිම් පල්ලි 2,700ක් අතර විනිවිදභාවයෙන් යුතුව බෙදා හැරීම සඳහා නිසි ලේඛනගත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී අවධානය යොමු කෙරිණි.තවද, දහම් පාසල් අවසාන විභාගය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය එකම කාලසීමාවක යෙදීමෙන් සිසුන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඒකාබද්ධ විභාග කැලැන්ඩරයක් සකස් කිරීමට ද කාරක සභාවේදී සාකච්ඡා විය. නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ගමගෙදර දිසානායක, මුනීර් මුලාෆර් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



























