බස්නාහිර පළාත් බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරක් මත වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඊයේ (12) රාත්‍රියේ ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත් කළහ. මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටි වෑන් රථයක් අත්අඩංගුවට ගැනීම මෙම මෙහෙයුමේ අරමුණ විය.උඩුගම්පොළ දෙසට ධාවනය වෙමින් තිබූ අදාළ වෑන් රථය පසුපසින් ගමන් කළ පොලිස් නිලධාරීන්, මල්වත්ත හන්දිය අසලදී එය නතර කර පරීක්ෂා කිරීමට උත්සාහ කළහ. එම අවස්ථාවේදී පොලිස් ග්‍රහණයෙන් මිදීමට උත්සාහ කළ රියදුරු, වෑන් රථය ඉදිරියට සහ පසුපසට පාලනයකින් තොරව ධාවනය කරමින් පොලිස් ජීප් රථයේ සහ නිලධාරීන්ගේ ගැටී ඇත.මාර්ගයේ අනතුරුදායක තත්ත්වයක් මෙන්ම පොලිස් නිලධාරීන්ට එල්ල වූ තර්ජනය පාලනය කිරීම සඳහා පොලිසිය වෑන් රථයට වෙඩි තැබීමට පියවර ගත්තේය. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු වහාම පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහලට ඇතුළත් කෙරිණි.පසුව සිදු කරන ලද වැඩිදුර පරීක්ෂාවන්හිදී අදාළ වෑන් රථය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 15ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක් සොයා ගැනීමට පොලිසිය සමත්විය. සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසිය විසින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.


























