මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය අභිමානයෙන් සැමරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් දිස්ත්‍රික් මට්ටමින් විසිරුණු රැලී සහ පෙළපාලි 21ක් සංවිධානය කර තිබේ. වැඩකරන ජනතාවගේ අයිතීන් දිනා ගැනීමේ අරමුණින් “ගොඩනගමු රට – එකම පෙළකට” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සැමරුම් මාලාව සඳහා දිවයිනේ නන්දෙසින් විශාල ජනකායක් සහභාගී වීමට නියමිත අතර මහරගම නගරයේදී එහි ප්‍රධාන රැලිය පැවැත්වේ.ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සහ තංගල්ල නගර කේන්ද්‍ර කරගනිමින් මැයි දින රැලි දෙකක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මාතර රැලිය රාහුල හන්දියෙන් ආරම්භ වන පෙළපාලියකින් සමන්විත වන අතර, තංගල්ල රැලිය පස්වරු 4.00ට රුහුණු විජයබා විදුහල අසලින් ආරම්භ වන පෙළපාලියකින් අනතුරුව පස්වරු 5.00ට නගර මධ්‍යයේදී පැවැත්වීමට නියමිතය.කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලද අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් දැවැන්ත රැලි සංවිධානය කර තිබේ. ඒ අනුව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතරදීත්, අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදීත් කම්කරු දින සැමරුම් පැවැත්වේ. මෙම රැලි සඳහා පිළිවෙලින් කටුකුරුන්ද හන්දියෙන් සහ දෙයියන්නේවෙල ක්‍රීඩාංගණයෙන් වර්ණවත් පෙළපාලි ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.උතුරු මැද සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් අනුරාධපුරයේදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ද, අම්පාරේදී අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්ද මැයි දින රැලි පැවැත්වේ. මීට අමතරව මාතලේ, ගම්පහ, ගාල්ල, රත්නපුර සහ කුරුණෑගල ඇතුළු ප්‍රධාන නගර රැසකදී ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය නායකත්වයෙන් යුත් පෙළපාලි සහ මහජන රැලි සංවිධානය කර තිබීම විශේෂත්වයකි.අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුම් මාලාව, යාපනය සහ මඩකලපුව වැනි දුරස්ථ නගර දක්වා විහිදී යයි. ජාතික ජන බලවේගය විසින් මෙලෙස ප්‍රාදේශීය මට්ටමින් ජනතාව ඒකරාශී කරමින් සංවිධානය කර ඇති මෙම මැයි දින වැඩපිළිවෙළ හරහා කම්කරු ජනතාවගේ හඬ වඩාත් ප්‍රබලව සමාජගත කිරීමට අපේක්ෂිතය.

























