බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කර තිබූ මාස 09ක සිරදඬුවම ස්ථිර කිරීමට කොළඹ මහාධිකරණය අද (ජූනි 23) පියවර ගත්තේය. තමන් වහන්සේට පනවා ඇති එම දඬුවමෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එය ප්‍රතික්ෂේප කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.මෙම නඩුකරයට පාදක වී ඇත්තේ 2016 වසරේදී කිරුළපන ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඥානසාර හිමියන් විසින් සිදුකරන ලද ප්‍රකාශයකි. ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් අදහස් දක්වමින් ජාතීන් අතර පවතින සංහිඳියාවට බාධා කිරීමේ චෝදනාව මත දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලීසිය විසින් උන්වහන්සේට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.එම චෝදනාවලට වරදකරු කරමින් මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර ලබා දුන් තීන්දුව නිවැරදි බව පෙන්වා දුන් මහාධිකරණය, පහළ අධිකරණයේ දඬුවම එලෙසම ක්‍රියාත්මක කිරීමට නියෝග කළේය.



























