දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම වැඩසටහනේ දෙවන දිනය වන අද (16) දිනයේදී ද දිවයිනේ සියලුම පොදු ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පරිශ්‍ර පවිත්‍ර කිරීමේ සහ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ කටයුතු සක්‍රියව සිදු කෙරේ.සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 41,925 දෙනෙකු වාර්තා වී ඇති අතර, ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 24කි. තත්ත්වය බරපතළ කරමින් මීට පෙර පැවති ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 74 සිට 84 දක්වා ඉහළ ගොස් ඇති බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.මේ වන විට බස්නාහිර, දකුණ, වයඹ, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට අයත් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්ක 14 තුළ රෝගය පැතිර යාමේ දැඩි අවදානමක් හඳුනාගෙන ඇත.



























