තිස් වසරක යුද්ධය නිමා වී අදට වසර 17යි

තිස් වසරක් තිස්සේ මෙරට වෙලාගෙන තිබූ කුරිරු ත්‍රස්තවාදය නිල වශයෙන් අවසන් කර, මව්බිමේ ඒකීයභාවය තහවුරු කොට අදට (18) වසර 17ක් සපිරෙයි. අනාගත පරපුර වෙනුවෙන් නිදහස් දේශයක් උරුම කර දීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ග්‍රාමාරක්ෂක බලකායේ වීරෝදාර සාමාජිකයන් කළ ජීවිත පරිත්‍යාගය මෙන්ම ඉටුකළ අමිල මෙහෙවර සමස්ත ලාංකේය ජනතාව අද දිනයේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරති.​මෙම ඓතිහාසික රණවිරු සැමරුම් ප්‍රධාන උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත්ව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා මානුෂීය මෙහෙයුමට දායක වූ රණවිරුවන් මෙන්ම ජීවිත පූජා කළ විරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගී වීමට නියමිතය.​පසුගිය ඉතිහාසය දෙස හැරී බැලීමේදී, 2006 වසරේ මාවිල්ආරු සොරොව්ව වසා දමමින් එල්.ටී.ටී.ඊ සංවිධානය සිවිල් ජනතාවට එරෙහිව දියත් කළ ම්ලේච්ඡ ක්‍රියාවත් සමඟ ආරක්ෂක අංශ වෙත මානුෂීය මෙහෙයුම ආරම්භ කිරීමට සිදු විය. එහිදී පළමුව නැගෙනහිර පළාත ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත් ආරක්ෂක අංශ, අනතුරුව ගොඩින්, දියෙන් හා ගුවනින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් උතුරේ පැවති කොටි බලකොටු බිඳ දැමීමට සමත් විය.​වසර 30ක යුද්ධයේ දරුණුතම පරිච්ඡේදය නිමා කරමින්, 2009 මැයි 18 වැනිදා නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීමත් සමඟ ත්‍රස්තවාදයේ නිල අවසානය සනිටුහන් විය. මෙම තීරණාත්මක යුද ජයග්‍රහණයේ සජීවී දසුන් සහ මානුෂීය මෙහෙයුමේ සැබෑ තත්ත්වය එදා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය කණ්ඩායම විසින් රටටත් ලෝකයටත් වාර්තා කරනු ලැබීය.​රට වෙනුවෙන් දිවි පිදූ සහ සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත් වූ දහස් සංඛ්‍යාත රණවිරුවන්ගේ ලේ, මස්, කඳුළු මතින් උදා වූ මෙම සාමය ආරක්ෂා කර ගැනීම වර්තමාන සමාජයේ ප්‍රධාන වගකීමකි. යුද්ධයකින් කිසිවෙකුට යහපතක් සිදු නොවන අතර ඉතිරි වන්නේ අහිමි වීම් පමණක්ම බව ඉතිහාසය අපට පසක් කර දී ඇත.​එබැවින්, නැවත කිසිදිනෙක මෙවැනි විනාශකාරී යුද්ධයකට රට තුළ ඉඩ නොතැබීමට නම්, ජාති, ආගම් හෝ කුල භේදවලින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ඇතුළු සියලු ජන කොටස් එකිනෙකා කෙරෙහි ගරු කරමින් ජීවත් විය යුතුය. යුද්ධයෙන් බිඳුණු සිත් සුවපත් කරමින්, සමානාත්මතාවය රජයන සංහිඳියාවෙන් පිරිපුන් සමාජයක් ගොඩනැගීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම යුතුකමකි.

What's your reaction?

Related Posts

1 of 1,147

Leave A Reply

Your email address will not be published. Required fields are marked *