ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දිනවලදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම වායුගෝලීය පද්ධතියේ සක්‍රීයතාව සහ ඉදිරි ගමන් මඟ පිළිබඳව එම දෙපාර්තමේන්තුව දැඩි අවධානයෙන් පසුවන අතර, මෙහි බලපෑමෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.විශේෂයෙන්ම දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර, අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකියි. මීට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වල බොහෝ ස්ථානවලට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී.ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ දරුණු අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එමඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

























