දිවයිනෙන් බැහැර වන අඩු පීඩන කලාපය: ආපදා තත්ත්වයේ සුබ පෙරනිමිති සමඟ තවදුරටත් වැසි!

​ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පැවති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වයත් සමඟ ගංගාවල ඉහළ යමින් තිබූ ජල මට්ටම් සහ ප්‍රදේශ කිහිපයකට ලැබුණු වර්ෂාපතනයද මේ වනවිට පහත බැසිමට පටන් ගෙන ඇත. විශේෂයෙන්ම කළු, කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවල වැසි තත්ත්වයේ අඩුවීමක් වාර්තා වන අතර, කුඩා ගඟේ මිල්ලකන්ද ජල මාපාංකය මීටර් 6.80 දක්වා පහළ බැස තිබේ. කෙසේ වෙතත්, කුකුළේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘතව පවතී.​දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14ක පවුල් 1,574කට අයත් පුද්ගලයන් 5,242 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අධික වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් නිවාස අහිමි වූ සියයකට අධික පිරිසක් ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින අතර, තවත් පිරිසක් තාවකාලිකව සිය ඥාති නිවාසවල රැඳී සිටිති.​පවත්නා ආපදා තත්ත්වය පහව යමින් තිබුණද, මාර්ග කිහිපයක තවදුරටත් ගමනාගමනයට බාධා එල්ල වී ඇත. අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය පිටාර ගැලීම හේතුවෙන් ගම්පහ-ගනේමුල්ල සහ ගම්පහ-ජාඇල ප්‍රධාන මාර්ග කිරිඳිවිට ප්‍රදේශයෙන් ජලයෙන් යටවී පවතී. මීට අමතරව කොස්ඕවිට, අකරවිට, රත්මල්විට, බුලත්සිංහල-මෝල්කාව මාර්ගයේ ඇටඹගස් හන්දිය, පරගොඩ මෙන්ම බුලත්සිංහල-කළුතර මාර්ගයේ දියකඩුව ප්‍රදේශය ද තවමත් ජලයෙන් යටව පවතින බව වාර්තා වේ.​පද්ධතිය දුර්වල වුවද එහි බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. අහස වලාකුළෙන් බරව පවතින අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයට වැසි වාර කිහිපයක් ද, ඌව, නැගෙනහිර පළාත් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ අංශ ජනතාවට දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,146

Leave A Reply

Your email address will not be published. Required fields are marked *