ලෝක වෙළෙඳපොළේ පවතින දැඩි අස්ථාවරත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 520 ඉක්මවා ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා වාර්තා පෙන්වා දෙයි. මීට පෙර ඉන්ධන ආනයනය සඳහා මාසිකව වැය වී ඇත්තේ ඩොලර් මිලියන 100ක මුදලක් වුවද, ඩීසල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙම පිරිවැය වැඩි වීමට ප්‍රධානතම හේතුව වී ඇත. ඒ අනුව පෙබරවාරි මාසයේදී ඩොලර් 88.8ක් ලෙස පැවති ඩීසල් බැරලයක මිල අප්‍රේල් මාසය වන විට ඩොලර් 199.7ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මැයි මාසයේදී මිලෙහි යම් අඩුවීමක් පෙන්නුම් කළ ද මාසය අවසානයේදී ලෝක වෙළෙඳපොළ මිල ගණන් නැවතත් ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර පුරෝකථන පවසයි.ලෝක වෙළෙඳපොළේ මෙවැනි දැඩි මිල විචලනයක් පැවතියද, දේශීය පාරිභෝගිකයන් මුහුණ දෙන පීඩනය අවම කිරීම සඳහා රජය මැදිහත් වී සිටියි. මේ යටතේ ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සෘජු සහනයක් ජනතාවට ලබාදීමට පියවර ගෙන ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජේ. ඩී. රාජකරුණා මහතා සඳහන් කළේය.මෙරට ජනතාව බහුලවම භාවිත කරන ඉන්ධන වර්ගය ඩීසල් බැවින්, ඒ සඳහා ලබාදෙන මෙම විශේෂ මිල සහනය වෙනුවෙන් පමණක් රජයට මාසිකව රුපියල් බිලියන 57ක දැවැන්ත පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

























