දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. මෙහිදී වඩාත් අවදානම් සහගත තත්ත්වයක පවතින කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, අයගම, රත්නපුර යන ප්‍රදේශවල කඳුකර හා බෑවුම් ආශ්‍රිත වැසියන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස දන්වමින් තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇත.මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ප්‍රදේශවලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ලටත්, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, හොරණ, ඉංගිරිය, පාලින්දනුවර යන ප්‍රදේශවලටත් දෙවන මට්ටමේ අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කර තිබේ. මෙම මට්ටමේම අනතුරු ඇඟවීම් කෑගල්ලේ යටියන්තොට ප්‍රදේශයට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන සහ නිවිතිගල යන ප්‍රදේශ සඳහා ද බලාත්මක වේ.මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ දිවුලපිටිය, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ මතුගම, කෑගල්ලේ බුලත්කොහුපිටිය මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව යන ප්‍රදේශවලට පළමු මට්ටමේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර ඇත. කඳු බෑවුම්වල පස් කඩා වැටීම්, ගස් ඇලවීම්, පොළොවේ හදිසි පැලෑම් හෝ බිත්ති පුපුරා යාම් වැනි නායයෑමේ පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් වහාම ක්‍රියාත්මක වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.



























