සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු වෘත්තීය කාණ්ඩ සඳහා ප්‍රමිතීකරණය, ලියාපදිංචිය සහ බලපත්‍රකරණය ඇතුළු තත්ත්ව සහතික කිරීමේ ආයතනික යාන්ත්‍රණයක් ලෙස මෙරට අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ගුරු, විදුහල්පති, ගුරු උපදේශක මෙන්ම අධ්‍යාපන පරිපාලන සහ ගුරු අධ්‍යාපනඥ යන සියලු පාර්ශ්වයන් ආවරණය වන පරිදි මෙම නව සභාව ක්‍රියාත්මක වේ.මෙම ආයතනය පිහිටුවීමේ අවශ්‍යතාව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජී.බී. දයාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කරනු ලැබීය. අනතුරුව, එම කමිටු වාර්තාව පාර්ලිමේන්තු අනුකාරක සභාව වෙත ඉදිරිපත් කර මහජන අදහස්ද ලබාගැනීමෙන් අනතුරුව අවසන් සමාලෝචන වාර්තාව සකස් කර ඇත.ඒ අනුව, දැනට පවතින නෛතික ආයතන සමඟ නිසි සම්බන්ධීකරණයකින් යුතුව අධ්‍යාපන සභාව පිහිටුවීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීමට අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.



























