නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා රක්ෂණ වන්දි ගෙවීම් අද සිට ආරම්භ කෙරේ

එල් නීනෝ කාලගුණ තත්ත්වය යටතේ නියඟයෙන් විපතට පත් වූ වගාවන් සඳහා රක්ෂණ වන්දි මුදල් ගෙවීම් අද (04) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි. හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල වියළි කාලගුණය හේතුවෙන් වී සහ බඩඉරිඟු ඇතුළු වගාවන්ට දැඩි හානි සිදුවී තිබේ. නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂා කර හානි තක්සේරු කිරීමෙන් අනතුරුව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා අද දින අදාළ බැංකු ගිණුම්වලට වන්දි මුදල් බැර කිරීමට කටයුතු යොදා ඇත.​අනෙකුත් දිස්ත්‍රික්කවල සියලුම ගොවීන් සඳහා මේ මස 15 දිනට පෙර වන්දි මුදල් ලබා දීමට නියමිත අතර, මේ වන විටත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක පමණ මුදලක් රජය විසින් වෙන් කර තිබේ. මෙම නියඟ තත්ත්වය නිසා ගොවීන් 7,500කට ආසන්න පිරිසකට අයත් අක්කර 8,000ක පමණ බිම් ප්‍රමාණයකට හානි සිදුවී ඇති බව වාර්තා වේ. වී, බඩඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන භෝග 6ක් සඳහා උපරිම අක්කර 5ක් දක්වා හෙක්ටයාරයකට රුපියල් 100,000ක මුදලක් බැගින් මෙහිදී වන්දි ලෙස හිමිවේ.​මීළඟ කන්නය ආරම්භ වීමට පෙර ගොවීන්ට අවශ්‍ය සහන සැලසීමේ අරමුණින් මෙම වන්දි මුදල් කඩිනමින් නිදහස් කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා උපදෙස් ලබා දී ඇත. ගොවීන් විසින් ලබා දුන් වගා හානි වාර්තා මත පදනම්ව මෙම වන්දි ගෙවීම් ඉතා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,315

Leave A Reply

Your email address will not be published. Required fields are marked *