පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ ධුර අහෝසි කිරීමට නව පනතක්

මහජන ඡන්දයෙන් තේරී පත්වීමෙන් පසු පෞද්ගලික හෝ දේශපාලන වාසි තකා පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ ධුර වහාම අහෝසි කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අනාවරණය කළේය. ජනතාව ලබාදුන් පරමාධිපත්‍යමය ජනවරමට පිටුපාමින් සිදුකරන මෙම දූෂිත දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම නැවැත්වීම මෙහි ප්‍රධාන අරමුණයි.​මෑතකාලීනව දේශපාලන කරළියේ පැතිර යන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂයට බඳවා ගැනීමට රජයේ කිසිදු සූදානමක් හෝ අවශ්‍යතාවක් නොමැති බව තරයේ අවධාරණය කළේය. යම් යම් පුද්ගලයන්ට එවැනි පෞද්ගලික බලාපොරොත්තු තිබිය හැකි වුවත්, වත්මන් රජයට රට පාලනය කිරීම සඳහා ජනතාව විසින් ඉතා පැහැදිලි සහ ස්වාධීන බලයක් ලබා දී ඇති බැවින් වෙනත් පාර්ශ්වයන්ගේ සහය පැතීමට රජය බලාපොරොත්තු නොවේ.​මෙම නව නීතිමය ප්‍රතිපාදන හරහා මෙරට දේශපාලන පද්ධතිය තුළ දීර්ඝ කාලයක් තිස්සේ පැවති මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ සහ පක්ෂ මාරු කිරීමේ අයහපත් ප්‍රවණතාව වැළැක්වීමට හැකිවනු ඇතැයි රජය විශ්වාස කරයි. ඒ අනුව ඉදිරියේදී පක්ෂ සාමාජිකත්වය අතහැර යන මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ක්‍රියාත්මක වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,159

Leave A Reply

Your email address will not be published. Required fields are marked *