කොටගල ප්‍රදේශයේ තොග වෙළඳසැලක සඟවා තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගත්, පරිභෝජනයට නුසුදුසු කහ පරිප්පු කිලෝග්‍රෑම් 1740ක තොගයක් භූමිතෙල් ඉස විනාශ කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කර තිබේ. පසුගියදා සිදුකළ හදිසි සෞඛ්‍ය පරීක්ෂාවකදී ගුල්ලන් සහිතව තිබූ මෙම පරිප්පු තොගය නිලධාරීන්ගේ භාරයට ගෙන තිබුණි. වෙළඳපොළ වටිනාකම රුපියල් 522,000ක් පමණ වන මෙම පරිප්පු තොගය, අධිකරණ නියෝගය පරිදි තලවකැලේ ලිඳුල නගර සභාවේ කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේදී විනාශ කිරීමට පියවර ගැනිණි.මෙම නඩු විභාගයේදී අදාළ පරිප්පු තොගයේ අයිතිකරු අධිකරණය හමුවේ තමන් වැරදිකරු බව පිළිගත් අතර, ඒ අනුව සැකකරුට රුපියල් 2000ක දඩ මුදලක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළේය. කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම වැටලීම සහ ඉදිරි නීතිමය කටයුතු මෙහෙයවා තිබුණි.























