ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ බටහිර පන්නයේ වේග රිද්ම ගායන ශෛලියෙන් දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ප්‍රවීණ ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) අලුයම මෙලොවින් සමුගන්නා විට ඇය 68 වන වියේ පසුවූවාය. “කැන්ඩි ළමිස්සි”, “සිහින නෙළුම් මල්”, “රහසයි සොඳුරු ජීවේ” සහ “කුමරාණනේ” වැනි සදාකාලික ජනප්‍රිය ගීත රැසක් දායාද කළ ඇයගේ අකල් වියෝව දේශීය කලා කෙතට පියවිය නොහැකි විශාල පාඩුවකි.ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සඳුදා (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත. එදින පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කර තැබෙන අතර, ගෞරවණීය කලාකාරිනියකට සමුදීම සඳහා රසික ජනතාවට එම කාලවේලාව තුළ අවස්ථාව සලසා දී තිබේ.























