වෙල්ලස්ස, බින්තැන්න සහ නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මහාචාර්ය පූජ්‍ය මහඔයේ ජිනරතන නායක හිමිපාණන් පිළිගැනීමේ මහෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) බිබිල ඓතිහාසික පොතුබන්ධන රාජමහා විහාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය දිඹුල්කුඹරේ විමලධම්ම නාහිමියන්ගේ මූලාසනාරූඪත්වයෙන් පැවැති මෙම පින්කමේදී, නව සංඝනායක පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය අග්‍රාමාත්‍යවරිය විසින් ජිනරතන නාහිමියන් වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබුවාය.මෙහිදී සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ 1982 වසරේ සිට දශක හතරකට අධික කාලයක් බුද්ධ ශාසනය සහ සමාජය උදෙසා නාහිමියන් ඉටුකළ මෙහෙවර සමස්ත සමාජයටම ආදර්ශයක් බවයි. විශේෂයෙන්ම දීඝවාපී මූලික පිරිවෙනේ පරිවේණාධිපති ලෙස කටයුතු කරමින් සහ දහම් පාසල් පවත්වාගෙන යමින් සිදුකරන අධ්‍යාපනික සේවාවත්, දීඝවාපී මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු, අම්පාර රෝහලේ භික්ෂු වාට්ටුවක් ඉදිකිරීම සහ වාර්ෂිකව දරුවන්ට අධ්‍යාපන උපකරණ බෙදාදීම වැනි ආගමික හා මානුෂීය ප්රතිඥාවන් රජයේ ප්‍රතිපත්තිවලටද විශාල ශක්තියක් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.ඓතිහාසික වැදගත්කමකින් යුත් මෙම උත්සව අවස්ථාව සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප්රමුඛ කරගනිමින්, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ දායක දායිකාවන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

























