පොලිස් විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 602 අත්අඩංගුවට

දිවයින පුරා අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පොලිසිය දියත් කළ විශේෂ මෙහෙයුමකදී ඊයේ (15) දිනය තුළ පමණක් පුද්ගලයන් 26,880 දෙනෙකු දැඩි පරීක්ෂාවට ලක් කර තිබේ. මෙම දැවැන්ත සෝදිසි කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 602 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත. කොටු කරගත් පිරිස අතර අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් 14 දෙනෙකුද සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.​මෙම මෙහෙයුමේදී අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයන් විශාල පිරිසක් අත්අඩංගුවට පත් වීම විශේෂත්වයකි. ඒ අනුව සාමාන්‍ය වරෙන්තුකරුවන් 269 දෙනෙකු සහ විවෘත වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවන් 198 දෙනෙකු මෙලෙස නීතියේ රැහැනට හසු කරගෙන තිබේ. මීට අමතරව මාර්ග ආරක්ෂාව අනතුරේ හෙළමින් බීමත්ව රථවාහන පැදවූ රියදුරන් 105 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස වාහන ධාවනය කළ පුද්ගලයන් 111 දෙනෙකුද පොලිස් භාරයට පත් විය.​රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්ද මෙහිදී දැඩි පියවර ගෙන තිබූ අතර, වෙනත් විවිධ රථවාහන වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 4,312 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත. මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ අපරාධ මර්දනය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන මෙම විශේෂ පොලිස් මෙහෙයුම් ඉදිරියටත් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,144

Leave A Reply

Your email address will not be published. Required fields are marked *