බලහත්කාර ශ්‍රමය යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ රට තුළට ආනයනය කිරීම තහනම් කරමින් නිකුත් කෙරුණු නවතම ගැසට් නිවේදනය බලාත්මක කිරීමට අවශ්‍ය නිල උපදෙස් සඳහා ශ්‍රී ලංකා රේගුව බලා සිටියි. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම නියෝගය පසුගිය ජූලි 10 වැනිදා නිකුත් කළ අතර, එදින සිටම එය ක්‍රියාත්මක වීමට නියමිතය.මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානියා ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරන අතර, ඒ සඳහා අවශ්‍ය පරිපාලනමය නියෝග සහ ක්‍රියාපටිපාටීන් සකස් කිරීමේ බලය ඔහු සතු වේ. ඒ අනුව, භාණ්ඩ ආනයනය කරන්නන් විසින් තමන් ගෙන්වන භාණ්ඩ කිසිදු බලහත්කාර ශ්‍රමයකින් තොරව නිෂ්පාදිත බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත. ඉදිරියේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නිර්දේශ මත අදාළ විශේෂිත භාණ්ඩ හෝ රටවල් පිළිබඳව අමාත්‍යාංශය විසින් වැඩිදුර දැනුම් දෙනු ඇත.මෙවැනි පියවරක් ගෙන ඇත්තේ බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ පාලනය සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ඇමෙරිකානු රජය මගින් අතිරේක ආනයන බද්දක් පැනවීමට යෝජනා කර තිබූ පසුබිමක ය. මෙම නව නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තුළින් එවැනි අභියෝග මගහරවා ගැනීමට අපේක්ෂා කෙරේ.























