නාගරික ප්‍රදේශවල මගී බස් රථවලට මගීන් නංවා ගැනීමට සහ බැසීමට බාධා වන අදිපරදි බස් නැවතුම්පළවල අනවසරයෙන් වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත නිල වශයෙන් නියෝග කර තිබේ.මෙලෙස බස් නැවතුම්පළවල වාහන නැවැත්වීම හේතුවෙන් බස් රථ මාර්ගය මධ්‍යයේ නවතා මගීන් නංවා ගැනීමට සිදුවීම නිසා දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වන අතරම මගීන්ගේ ආරක්ෂාවටද විශාල තර්ජනයක් එල්ල වී ඇති බව පොලිසිය පෙන්වා දෙයි. විශේෂයෙන්ම රෝද පුටු භාවිතා කරන ආබාධිත මගීන්ට බස් රථවලට පහසුවෙන් ගොඩවීමට සහ බැසීමට හැකි වන පරිදි බස් නැවතුම්පළ කිසිදු බාධාවකින් තොරව තබාගැනීමේ වැදගත්කම ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරති.විශේෂ ගැසට් නිවේදනයකට අනුව, බස් නැවතුම්පළකට පිවිසෙන මීටර් 30ක ප්‍රදේශයක සහ ඉවත් වන මීටර් 15ක ප්‍රදේශයක වාහන නැවැත්වීම නීතියෙන් තහනම් කර ඇත. එසේම, වෙන්කළ බස් බොක්කවල් සහිත නැවතුම්පළවල පිවිසුම් දෙසින් මීටර් 15ක් සහ නික්මෙන දෙසින් මීටර් 10ක් ඇතුළත වෙනත් වාහන නැවැත්වීම තහනම් කර ඇති අතර, මගීන්ගේ ආරක්ෂාව සහ සුමට ගමනාගමනය තහවුරු කිරීම සඳහා මෙම නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස සියලුම ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී තිබේ.



























