මෙවර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් විශේෂ පුණ්‍ය වැඩසටහන් සහ සැමරුම් මාලාවක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නිවේදනය කරයි. බෞද්ධ ජනතාවගේ වත්පිළිවෙත් සහ සංස්කෘතික අංගයන්ට මුල්තැන දෙමින් පවත්වනු ලබන මෙම වැඩසටහන් හරහා මෙවරත් වෙසක් සිරිය අර්ථවත්ව සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම සම්මේලනයේ නිලධාරීන් මාධ්‍ය හමුවකදී අනාවරණය කළහ.මෙහි ප්‍රධානතම අංගය වන “බෞද්ධාලෝක වෙසක් කලාපය” මැයි මස 30 සහ 31 යන දිනවල මෙන්ම ජූනි මස 01 වනදා දක්වා පුරා දින තුනක් කොළඹදී පැවැත්වීමට නියමිතය. විචිත්‍රවත් තොරණ, පහන් කූඩු සහ භක්ති ගීත ඇතුළු ආකර්ෂණීය අංග රැසකින් සමන්විත මෙම වෙසක් කලාපය නැරඹීම සඳහා පැමිණෙන ලෙස සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සැදැහැවත් ජනතාවට විවෘත ආරාධනයක් කර සිටියි.

























