විවිධ ආර්ථික සහ වෘත්තීයමය ගැටලු හේතුවෙන් මෙරට දක්ෂ වෘත්තිකයන් විශාල පිරිසක් රට හැර යාමේ ප්‍රවණතාවක් මතුව තිබේ. ඒ අතර විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණිගත වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තුන්දහසකට අධික පිරිසක් මේ වන විටත් දිවයින අතහැර ගොස් ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය රටේ අනාගත සංවර්ධනයට මෙන්ම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමටද දැඩි බලපෑමක් එල්ල කර ඇත.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන ආකාරයට, 2022 සිට 2024 දක්වා වූ වසර තුනක කාලය තුළ පමණක් වෛද්‍යවරුන් 1,489 දෙනෙකු රටින් පිටව ගොස් ඇත. සමස්තයක් ලෙස රාජ්‍ය සේවයෙන් ඉවත් වූ වෛද්‍යවරුන් සංඛ්‍යාව 2,500ක් පමණ වන අතර, මේ නිසා රජයට රුපියල් කෝටි 1,200කට අධික මූල්‍ය පාඩුවක් සිදුව තිබේ. එපමණක් නොව, ඉදිරියේදී තවත් වෛද්‍යවරුන් දෙදහසකට වැඩි පිරිසක් විදේශගත වීමට සූදානමින් පවතියි.මීට අමතරව, අධ්‍යයන නිවාඩු ලබා විදෙස්ගත වී යළි පැමිණීමේ ගිවිසුම් කඩ කරමින් සේවයට වාර්තා නොකළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 514ක් පමණ සිටින අතර, ඔවුන්ගෙන් රජයට ලැබිය යුතු හිඟ මුදල රුපියල් කෝටි 340කි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ මහ බැංකු දත්තවලට අනුව, පසුගිය වසරේදී විදේශගත වූ සමස්ත ශ්‍රමිකයන්ගෙන් සියයට 76කට වැඩි ප්‍රමාණයක් නිපුණ සහ වෘත්තීය මට්ටමේ සංක්‍රමණිකයන් වීම මෙරට ශ්‍රම වෙළඳපොළට දැඩි බලපෑමකි.



























