ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. මෙම රාජ්‍ය උත්සවය හේතුවෙන් අද සවස 3.30 සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ රථවාහන කළමනාකරණ සැලැස්මක් හඳුන්වා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව කොළඹින් පිටවන වාහන පොල්දූව හන්දියෙන්ද, කොළඹට ඇතුළු වන වාහන කියන්නෑම් හන්දියෙන්ද අවස්ථානුකූලව සීමා කර විකල්ප මාර්ග වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇත.මාර්ග තදබදය අවම කරගැනීම සඳහා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය උපදෙස් දෙයි. ඒ අනුව, පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ කොළඹින් පිටවීමට පැමිණෙන වාහන පොල්දූව හන්දියෙන් බත්තරමුල්ල, පාලන්තුන සහ කියැන්නෑම් හන්දිය දෙසට ධාවනය කළ හැකිය. එමෙන්ම, කියැන්නෑම් හන්දියෙන් කොළඹට ඇතුළු වීමට බලාපොරොත්තු වන රථවාහන පාලන්තුන සහ බත්තරමුල්ල හරහා ගමන් කළ යුතු අතර, රජමල්වත්ත දෙස සිට බෝධිරාජ මාවත ඔස්සේ පැමිණෙන වාහනවලට බත්තරමුල්ල ප්‍රධාන මාර්ගයට පිවිස තම ගමනාන්තයන් වෙත ළඟා විය හැක.උත්සවයට පැමිණෙන බස් රථ සහ ට්‍රක් රථ වැනි බර වාහන ගාල් කිරීම සඳහා ද විශේෂිත කලාප වෙන් කර තිබේ. ඒ අනුව ජපන් මිත්‍රත්ව පාර හන්දියේ සිට කිඹුලාවල හන්දිය දක්වා වූ මාර්ග කොටස ද, ජපන් මිත්‍රත්ව පාර විදුලිබල මණ්ඩලය අසල සිට පැලවත්ත හන්දිය දක්වා වූ ප්‍රදේශය ද රථවාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇත. මෙම කාලසීමාව තුළ ඇති විය හැකි ප්‍රවේශ ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

























