බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි 30 ඇරඹෙයි!

කොළඹ බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කරගනිමින් මෙවර පැවැත්වෙන 25 වන බෞද්ධාලෝක වෙසක් කලාපය එළඹෙන මැයි 30 වනදා සිට ජුනි 01 වනදා දක්වා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි, රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ කරමින් ජනාධිපති කාර්යාලයේ පූර්ණ මැදිහත්වීම මත මෙවර වෙසක් කලාපය සංවිධානය කෙරේ. මෙයට අදාළ විශේෂ සම්බන්ධීකරණ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.​උත්සව සමයේ වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන මහජනතාව වෙනුවෙන් සැපයිය යුතු සුභසාධන සහ ආරක්ෂක පහසුකම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. කොළඹ නගර සභාව, ආරක්ෂක අංශ සහ සෙසු රාජ්‍ය ආයතන සතු වගකීම් මෙන්ම ජනතාවට බාධාවකින් තොරව ආගමික වතාවත්වල නිරත වීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු බව සංවිධායක මණ්ඩලය පවසයි.​මෙම අවස්ථාව සඳහා කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. තවද, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ, නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ, භාණ්ඩාගාරික වසන්ත ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනුග්‍රාහක සමාගම්වල නියෝජිතයන් ද මෙම නිල සාකච්ඡාවට සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 1,149

Leave A Reply

Your email address will not be published. Required fields are marked *