රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) මාධ්‍ය අධ්‍යයන අංශයේ සිසුන්ගේ ප්‍රායෝගික පුහුණු කටයුතු වෙනුවෙන් ඉදිකළ නවීන තාක්ෂණික උපාංගවලින් සමන්විත රූපවාහිනී (HD) මැදිරිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (26) විවෘත කෙරිණි. මීට අමතරව සිසුන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීමේ අරමුණින් වෙබ් ගුවන් විදුලි නාලිකාවක් ඇතුළු සේවාවන් රැසක් සහිත විකාශන මැදිරියක්, කෘත්‍රිම බුද්ධි (AI) පර්යේෂණාගාරයක් මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, සාධාරණත්වය හා සමානාත්මතාවය පිළිබඳ මධ්‍යස්ථානයක් ද මෙහිදී සිසු අයිතියට පත් විය.මෙම උත්සවයට සමගාමීව, පසුගිය දිනවල ඇති වූ ගංවතුර ඇතුළු ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් වූ පාසල් කිහිපයක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීමක් ද සිදු කෙරිණි. එමෙන්ම තාක්ෂණය සහ පරිසරය අතර මනා සන්නිවේදනයක් ඇති කිරීම අරමුණු කරගනිමින් සකස් කරන ලද “පරිසර හිතකාමී හරිතකරණ ප්‍රතිපත්තිය” (UOVT Greening Policy) නිල වශයෙන් එළිදැක්වීම ද මෙහිදී සිදුවූ විශේෂත්වයක් විය.නව හරිතකරණ ප්‍රතිපත්තිය යටතේ විශ්වවිද්‍යාලය තුළ සිදුවන සියලුම ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු පරිසර හිතකාමී සංකල්පයන්ට අනුකූලව සිදු කිරීමට නියමිතය. රජයේ මෙම නව සැලසුම් හරහා ඉදිරි 2030 වසර වන විට සමස්ත විශ්වවිද්‍යාල පරිශ්‍රයම කාබන් විමෝචනයෙන් තොර කලාපයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන අතර, වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින හරිත රැකියා අවස්ථා සඳහා වැඩි වශයෙන් යොමු කිරීම ද මෙහි ප්‍රධාන අරමුණකි.නිල උත්සව කටයුතු නිමවීමෙන් අනතුරුව, විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් පිරිසක් මුණගැසුණු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, ඔවුන් මුහුණ දෙන අධ්‍යාපනික හා අනෙකුත් පොදු ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවක නිරත වීමට ද කාලය වෙන් කර ගත්තාය.මෙම සුවිශේෂී විවෘත කිරීමේ අවස්ථාව සඳහා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ.එම්.ජී. ප්‍රසන්න ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් පිරිසක් ද එක්ව සිටියහ.



























