රාගම (උතුරු කොළඹ) ශික්ෂණ රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ රෝගී සත්කාරක සේවාවන්හි ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂ කළමනාකරණ කමිටු රැස්වීමක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, රෝහලේ පවතින පරිපාලනමය ගැටලු රැසකට ක්ෂණික විසඳුම් ලබාදීමට පියවර ගැනුණි. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය, රසායනාගාරය සහ වාට්ටු සංකීර්ණය ඇතුළු අංශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි අඩුපාඩු සෘජුවම විමසා බැලීය.2026 වසර සඳහා වන වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම යටතේ ඖෂධ සහ ශල්‍යකර්ම ද්‍රව්‍ය ප්‍රසම්පාදනය විධිමත් කිරීම මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. විශේෂයෙන්ම රෝහල් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දහන යන්ත්‍ර ස්ථාපනය කිරීම, සීසීටීවී කැමරා පද්ධතියක් සවි කිරීම සහ මලාපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම වැනි අත්‍යවශ්‍ය ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මීට අමතරව වෛද්‍ය නීති ගොඩනැඟිල්ලක් සහ කාර්ය මණ්ඩල නවාතැන් පහසුකම් සහිත ගිලන් රථ උද්‍යානයක් ඉදිකිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.රෝහලේ මහාචාර්ය ඒකක ගොඩනැඟිල්ල නැවත සැලසුම් කිරීම සහ ප්‍රධාන ශල්‍යාගාර ඇතුළු අංශ කිහිපයක දැනට සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත තෙන්නකෝන් මහතා ඇතුළු වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැති මෙම හමුව, රාගම ශික්ෂණ රෝහලේ ඉදිරි දශකයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට තැබූ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.

























