රාජ්‍ය පරිපාලන ව්‍යුහයන් සකස් කළ යුත්තේ පොදු නිර්ණායක මතයි – ජනපති අනුර කුමාර

රාජ්‍ය පරිපාලන ව්‍යුහයන් ප්‍රතිසංවිධානය කිරීමේදී ඒවා ජාතිභේද හෝ දේශපාලන පොරොන්දු මත පදනම් නොකර, ජනගහනය සහ භූමියේ විශාලත්වය වැනි පොදු නිර්ණායකයන්ට මුල්තැන දෙමින් සිදුකළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (23) පැවැත්වුණු දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මුලසුන දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. නැගෙනහිර පළාතේ සමස්ත සංවර්ධන කටයුතු මෙන්ම වෙරළ තීරය සුරැකීම සම්බන්ධයෙන් ද මෙහිදී වැදගත් තීන්දු තීරණ රැසකට එළඹ තිබේ.​මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සන්නිවේදනය කළේ 2026 අයවැය මඟින් අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 22,000 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. මෙම මුදල් වසර තුළදීම නිසි ලෙස කළමනාකරණය කරමින් ජනතාවට උපරිම සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව පෙන්වා දුන් ඒ මහතා, මුහුදු ඛාදනයෙන් නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමටත්, ඊට හානි නොවන සේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත් විධිමත් සැලැස්මක් සකසන ලෙස උපදෙස් දුන්නේය. එමෙන්ම නැගෙනහිර පළාතේ ඉඩම් සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.​මෙම සුවිශේෂී සාකච්ඡාව සඳහා අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,155

Leave A Reply

Your email address will not be published. Required fields are marked *