එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපන සමුළුවට සහ 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය විවෘත ඉගෙනුම් ආයතනයේ පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සිය නිල සංචාරය නිමවා යළි දිවයිනට පැමිණ තිබේ. මෙම සංචාරය අතරතුර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂ ආරාධනයකට අනුව එහි පැවැත්වුණු 2026 OSGA වාර්ෂික දේශනයට ද ඇය එක්වූ අතර, එහිදී “සංවර්ධනයේ දේශපාලනය ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට” (The Politics of Development Sri Lanka and Beyond) යන තේමාව යටතේ ඇය විසින් විශේෂ දේශනයක් පවත්වනු ලැබීය.මීට අමතරව බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් වන අධ්‍යාපන ලේකම් බ්‍රිජට් පිලිප්සන් (Bridget Phillipson), විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් ජනරාල් ෂර්ලි අයෝර්කර් (Shirley Ayorkor) යන මහත්ම මහත්මීන් ද මුණගැසී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා පවත්වා ඇත. එමෙන්ම ඇය සිය බ්‍රිතාන්‍ය සංචාරය අතරතුර සසෙක්ස් විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සර සැමරුම් උත්සවයට ද ගෞරවනීය අමුත්තියක ලෙස සහභාගී වූවාය.



























