වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කිරීම වැළැක්වීම අරමුණු කරගත් “සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත” පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත නිල වශයෙන් භාර දී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මඟින් බාලවයස්කාර සිසුන් ඩිජිටල් අවකාශය තුළ මුහුණ දෙන අවදානම් අවම කිරීම අපේක්ෂා කෙරේ.මෙම නව පනත් කෙටුම්පතට අනුව, අදාළ වයස් සීමාවෙන් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය අවහිර කිරීම සඳහා අන්තර්ජාල සේවා සපයන සමාගම් සහ සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත නියෝග පැනවීමේ විශේෂ බලයක් විෂය භාර අමාත්‍යවරයාට හිමිවේ. ඒ අනුව, මෙරට තුළ ක්‍රියාත්මක වන සන්නිවේදන ජාලයන් විධිමත් කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි සහ නීතිමය රාමුව සකස් කිරීමට අමාත්‍යවරයාට පූර්ණ බලතල පැවරෙනු ඇත.



























