විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට සිදු වුවද, ඉන් පොදු මහජනතාවට එල්ල වන පීඩනය අවම කිරීම වෙනුවෙන් රජය සෘජුවම මැදිහත් වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව, මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් 96%ක් සඳහාම එම මිල වැඩිවීමේ බර පෞද්ගලිකව දැරීමට සිදු නොවන බවත්, රජය විසින් එම පිරිවැය සහනාධාරයක් ලෙස ලබා දෙන බවත් ඒ මහතා අවධාරණය කළේය.මහරගමදී පැවැති ජාත්‍යන්තර කම්කරු දින ජන රැළිය අමතමින් මෙම කරුණු අනාවරණය වූ අතර, රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් විය. විශේෂයෙන්ම 2027 වසර සඳහා රුපියල් ට්‍රිලියන 2ක දැවැන්ත ප්‍රාග්ධන වියදමක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවත්, ජනතාවගේ සහභාගීත්වයෙන් ගොඩනැඟූ මෙම පාලනය ඉදිරියටත් ස්ථාවරව පවත්වාගෙන යන බවත් එහිදී ප්‍රකාශ විය.”ජන රජයට ජන බලයක්” තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම මැයි දින පෙළපාලිය දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ වී මහරගම නගරය දක්වා ගමන් කළ අතර, ඒ සඳහා අතිවිශාල ජනකායක් එක්ව සිටියහ. ප්‍රගතිශීලී ජනතා බලවේග මඟින් ස්ථාපිත කළ වත්මන් පාලන තන්ත්‍රය ජනතාවගේ අභිලාෂයන් සුරකිමින් ඉදිරියටම ගෙන යන බවට වන සහතිකය ද මෙහිදී නැවත වරක් තහවුරු කෙරිණි.

























